tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

ළමා අපචාරවලට වැට බැඳීමට 'ළමා අධිකරණ අවශ්‍යයි'




ළමා අපචාරවලට වැට බැඳීමට 'ළමා අධිකරණ අවශ්‍යයි'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 3 බදාදා - 12:43 GMT 
 
ළමා අපචාරවලට වැට බැඳීම සහ අපයෝජනයට ලක් වන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස ළමා අපචාර විභාග කිරීමේ අධිකරණ ක්‍රියාදාමයේ පැහැදිලි වෙනසක් විය යුතු බව නීති විශාරදයෝ පවසති.

විශේෂයෙන්ම අපයෝජනයට ලක් වූ දරුවන් අධිකරණය ඉදිරියට කැඳවා ඔවුන් "නැවත නැවතත් අතවරයට ලක් කරනු" වෙනුවට ඔවුන්ට නිර්නාමිකව සාක්ෂි දීමේ අවස්ථාව සලසා දීම මෙන්ම විශේෂ ළමා අධිකරණ පිහිටුවීම කෙරෙහිද බලධාරීන්ගේ ප්‍රමුඛත්වය හිමි විය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න බීබීසී සංදේශයට කියා සිටියේය.
Workshop organised by Child Protection Authority
"විශේෂයෙන්ම මම හිතන්නේ අතවරයට ලක් වෙච්ච දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනට තියෙන නීතියට අපි සංශෝධන ගෙන්න ඕනේ," ඔහු පැවසීය.
"මම දන්නා විදියට දැන් අලුත් නීතියක් කෙටුම්පත් කෙරෙමින් තියෙනව. ඒක ඉක්මනටම ක්‍රියාත්මක කෙරේවි කියල මම බලාපොරොත්තු වෙනවා."
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සහ ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මට මුණ ගැසුනේ ළමාරක්ෂක අධිකාරිය පසුගියදා කොළඹ දී සංවිධානය කළ වැඩ මුළුවකට සංදේශයේ කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දු ද සමගින් මා සහභාගි වූ අවස්ථාවේ.
රට පුරාම ළමා කටයුතු සම්බන්ධ අධිකරණ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ද අවධාරණය කරන්නීය.
Deputy Solicitor General Sarath Jayamanne with Elmo Fernando
ළමා අපචාර සම්බන්ධ නඩු විභාග දීර්ඝ කාලයක් විභාග වීමත් ළමා අප්යෝජකයන්ට දඬුවම් පැණවීමෙහිලා බරපතල ගැටලුවක් වී තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්නගේ අදහසයි.
"අධිකරණයක නඩු ගොඩ ගැහිලා තියෙන කොට දිගටම ඒක ඇදගෙන යන්න කාටවත් උනන්දුවක් නෑ. අනික මේ දරුවන්ගේ සමාජ තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් මේ ප්‍රමාදය ඇත්තටම ළමා අපචාරකයන්ට වාසියක්," යනුවෙන්ද ඔහු පැවසීය.
ගතව ගිය මාර්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකාවෙන් ළමා අපයෝජන සිදුවීම් 127 ක්වාර්තා වූ බව වැඩමුළුවේදී නිවේදනය කළ ළමාරක්ෂක අධිකාරිය, එයින් අඩක්ම ලිංගික අපයෝජන බව සඳහන් කරයි.
කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන ඉහල යාමේ ප්‍රවණතාවයක් නොව, යුද්ධය හමාරයේ ළමා අපයෝජන පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමුවීම බව ළමාරක්ෂණ අධිකාරියේ මතයයි.
එහෙත් වැඩමුළුව ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න්න දරන්නේ වෙනත් අදහසක්.
NCPA chairperson Anoma Disanayake
"පුවත්පත් වාර්තා අනුව බැලුවම පැහැදිලිවම ළමා අපචාරවල වැඩිවීමේ ප්‍රවනතාවයක් තියෙන බව අපිට පේනව. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් පහුගිය අවුරුදු 10-15 ඇතුලත ළමා අපචාර වැඩි වුනු බවක් තමයි පෙන්නේ," යන්නයි ඒ පිළිබඳව සංදේශය කළ විමසීමේදී ඔහුගේ ප්‍රතිචාරය වූයේ.
මේ අතර අපයෝජනයට ලක්වන දැරියන් අධිකරණය මාර්ගයෙන් ළමා නිවාසවලට භාරදෙන විට ඒ දැරියන් ප්‍රවාහනය කරන්නේ බන්ධානාගාර වෑන් රථවල බව මීගමුවේ ළමා නිවාසයක සංචාරයක යෙදුන අවස්ථාවේ මට දැකගන්නට ලැබිණ.
ඉක්මනින්ම එම තත්වය වෙනස් කිරීමට පියවර ගන්නා බවයි, ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සංදේශයට කියා සිටියේ.